Tuesday, September 8, 2015

ඕකිඩ් මල් වගාව

                                                     -ඕකිඩ් වගාව-
ඕකිඩ් උඩවැඩියා නමින්ද හදුන්වන අතර ඔකිඩේසියේ කුලයට අයත් වේ. භෞමික හා අපිශාක ලෙස ලොව පුරා පැතිරී ඇති ඕකිඩ් විවිධ දේශගුණික තත්ව යටතේ වර්ධනය වේ. ගණ 750 කට පමණ බෙදා වෙන් කොට ඇති ඕකිඩ් විශේෂ 19,000 ක් පමණ දැනට හදුනාගෙන ඇත. ඩෙන්ඩ්‍රොබියම්, වැන්ඩා, කැටලියා, ඔන්ඩීසියම්, සිම්බීඩියම්, පැලනොප්සීස් ආර්ථික වශයෙන් වැදගත් වන අතර පහසුවෙන් අප රටේද වගා කල හැකිය.
                                                                                                 
දේශගුණික  තත්වයන්:-
ඕකිඩ් යනු වර්ෂා වනාන්තර වල ස්වාභාවිකව වැවෙන ශාකයක් වන අතර විවිධ දේශගුණික තත්ව යටතේ කෘතීම පරිසරයකදීද වගා කල හැක. උසස් මල් නිශ්පාදනයක් සදහා පහත රට තෙත් කලාපයේ පහසුවෙන් වගා කල හැකි අතර ඇතැම් ඕකිඩ් වර්ග මුහුදු මට්ටමේ සිට අඩි 4000කට වඩා ඉහල ප්‍රදේශ වලද වගා කල හැකිය. ඕකිඩ් වගාව සදහා 70% -75% ක් ආර්ද්‍රතාවයක් හා 55% - 60% ක් අතර සූර්යාලෝකයක් තිබීම වැදගත් වේ.

ප්‍රචාරණය:-
 ඕකිඩ් ලිංගික ප්‍රචාරනයෙන් මෙන්ම අලිංගික ප්‍රචාරනයෙන්ද සිදු කල හැකි අතර අලිංගික ප්‍රචාරණය පහසු හා ඉක්මන්ය.

වර්ධක ප්‍රචාරණය:-

වර්ධක ප්‍රචාරණය ප්‍රධාන වශයෙන්,
*බෙදීම මගින්
* ව්‍යාජ බල්බ මගින්
*වායව අංකුර මගින්
*අග්‍රස්ථ  අංකුර මගින්
සිදු කරනු ලබයි.

01.බෙදීම මගින්:-මෙහිදී හොදින් වැඩුණ ඕකිඩ් පැලෑටියක් ව්‍යාජ බල්බ 3-4 කොටස් වලට වෙන්කොට සි‍ටුවනු ලබයි. කැට්ලියා, ඩෙන්ඩ්‍රෝබියම් මෙලෙස පහසුවෙන් බෝ කර ගත හැකි වර්ග වේ

02.බල්බ මගින්:- හොදින් වැඩුනු ශාක වල ව්‍යාජ බල්බ වෙන්කර සි‍ටුවීම මෙහිදී සිදු කරනු ලබන අතර පලමුව තෙත් කර ගත් වැලි මාධ්‍යක සි‍ටුවා ගත යුතුය. ඉන් සති 6 කට පමණ පමණ පසු ඒවායින් ඇති වන අංකුර ව්‍යාජ බල්බ කොටස්ද සමගම වෙනම මාධ්‍යක සි‍ටුවා ගත යුතුය.


03. වායව අංකුර මගින්:-ව්‍යාජ බල්බ වලට ඉහලින් හට ගන්නා අංකුර හොදින් වර්ධනය වූ පසු බල්බ කොටසක්ද සමගම කපා සි‍ටු වීම මෙමගින් සිදු කෙරේ.  කැපූ කෙලවරට දිලීර නාශකයක ගිල්වා මාධ්‍යක රෝපනය කල යුතුය. ඩෙන්ඩ්‍රෝබියම් වර්ග පහසුවෙන් මෙලෙස වගා කර ගත හැකිය.

04.අග්‍රස්ථ කැබලි මගින්:- අඩියක් පමණ දිගු කැබලි මේ ආකාරයට සි‍ටුවනු ලබන අතර සුදුසු දිලීර නාශකයක් යොදා ගත යුතුය.

කුඩා පැල සදහා




අගුරු කොටස් -1
උළු කැට කොටස් -1
ලී කැබලි කොටස් -1
පොල් ලෙලි කැබලි කොටස් -1

යන මාධ්‍ය සුදුසු වේ. වර්ධන කාලයේදී හා මල් පිපෙන කාලයේදී සුදුසු N.P.K.  පොහොරක් යෙදිය යුතුය.
ඕකිඩ් වගාවට බහුලවම වැලදෙන රෝග අතර,
*දිය මලන් කෑම
*කහ පුල්ලි රෝගය
*ඇන්ත්‍රැක්නෝස්
*පත්‍ර හා අග්‍රස්ථ කුනු වීම
*පත්‍ර විචිත්‍ර රෝගය
ප්‍රධාන වේ. එසේම පලිබෝධ හානිද ඇති වන අතර ඒ සදහා
*කද පනුවන්
*මයිටාවන්
*ගොලුබෙල්ලන්/හම්බෙල්ලන්
*කුඩිත්තන්
*කැරපොත්තන් මූලික වේ.
පැලෑටියට වී ඇති හානිය හොදින් පරික්ෂා කර ඊට හේතුව සොයා දැනුමැති අයෙකුගේ උපදෙස් මත අවශ්‍ය ප්‍රතිකාර කල යුතුය.

1 comment: